උත්සව කාලවල - විශේෂයෙන් සිංහල අවුරුදු දා (=ජාතිකෝත්සව දින) රබන් ගැසීම ගැහැනු පිරිමි දෙපක්ෂයටම විනෝදාත්මක කී‍්‍රඩාවකි. කෙළිදෙලෙන් රබන් කෙළියෙහි යෙදුණු ඔවුන්ට නිතැතින්ම ශාරීරික ව්‍යායාමයක් ද ලැබුණි. සරණ මංගලෝත්සවවලදී විශේෂ ප‍්‍රීතිය ප‍්‍රකාශ කරනුයේත් රබන් ගැසීමෙනි. සිංහලයන් පමණක් නොව මරක්කල සහ ජා වර්ගයෝද උත්සව ප‍්‍රසතාවයන්හි රබන් ගැසීමට පුරුදුව සිටිති. පුරාතනයේ සිට නූතනය තෙක් නොනැසී පවත්නා රබන් කෙළිය අපේ සංස්කෘතිය හුවා දැක්වෙන කී‍්‍රඩාවකි.
අවුරුදු රබන් පද
තරිකිට දොං දොං අවුරුද්දයි
රබාන දැන් දැන් හරි සද්දයි
තකිට දොදොං තකිට දොදොං තකිට දොදොං දොං
අපට අරන් කැවුම් කොකිස් නැන්ද එනව දොං
අක්කෙ වරෙන් නෑනේ වරෙන් නැන්දත් කැඳවන්
අවුරුද්දට අපි හැමෝම රබන් ගහමු දැන්
නළඟනන්ගේ විවිධාකාර නැටුම් ගැයුම්, දියබුන් ගැසීම්, දිය කෝකිල කෙළිය වැනි ජල කී‍්‍රඩා, සඳළුතලවල පන්දු කෙළිය වැනි ලලනාවන්ගේ කී‍්‍රඩා දුටු අපේ පැරැණි සිංහල සාහිත්‍යකාරයනට ඔවුන්ගේම ජාතික කී‍්‍රඩාවක් වූ රබන් කෙළිය පෙනුණු බවට නිදසුන් සෙවීම අසීරුය. මේ පැරැණිතම කී‍්‍රඩාවට හොඳ ඉතිහාසයක් හා අද්වීතීය ස්ථානයක් හිමිව තුබුණු බවට පැරැණි විහාර පන්සල්වල චිත‍්‍ර හා කටවහරෙහි එන රබන් පදයෝ සාක්‍ෂි කියති.
රුං රුං රුඳ ගත
රුංද ගතත් ගත
රුංද ගතත් ගත තෙයි
අපේ ගෙදර තුන් දෙනයි
උඩහ ගෙදර තුන් දෙනයි
පහළ ගෙදර තුන් දෙනයි
තුන් පොළේම නව දෙනයි
ගසට පලච්චෙයි විමනා
ගසින් වැටිච්චෙයි විමනා
විමනා කුන්ද මනා කුකඳ මනා
කුඳං මනා දොං
වත්ත කතත් කතත්තා
ගෙදර ගතත් කතත්තා
වත්ත කතත් ගෙදර කතත්
දෙකම කතත් කතත්තා
සිංහල ජනතාව රැකියාවල් කෙළි සෙල්ලම් ආදී ජීවිතය පිළිබඳ හැමෙකකදීම බෞද්ධ සංස්කෘතියේ ආලෝකයෙන් හැදුණු වැඩුණු බව බෞද්ධ දර්ශනය අමතක නොකළ බව ප‍්‍රකාශ කිරීමට ගැමි කවියෙන් ලැබෙන ආභාසය ඉතා මහති. රබන් කී‍්‍රඩාවේ දී ද මේ ධර්මය අමතක කර නැත. ඒ බව මෙයින් පෙනේ.
සමන් මල් මිටක් නංගියෙ ඉද්දමල්
මිටක් අරගෙන විහාරෙට ගොසින් නංගියෙ
පූජකර වරෙන් නංගියෙ පූජකර වරෙන්
බුදුන් දම් සඟුන් වැඳ-ලා දෙගුරු ගුරු
වරන් සිහිකර පූජකර වරෙන් නංගියෙ
පූජකර වරෙන් තක තෙයි පූජකර වරෙන්
රජ දැක්මට පවා ඉදිරිපත් කළ හැකි දියුණු වූ ජාතික කී‍්‍රඩා ගණයට රබන් කෙළිය ඇතුළත් වූ බව
වංගගිරි මැද වෙස්සන්තර රජ දනක්
දුන් සැටි අසන් දොං දොං
රංග බබළාබබළ බබළා
නමින් අදිපති සුරන් දොං දො
රංබ රඹ ගස යටට වී හැම
කොළොම්පුරයේ ඉඳන් දොං දොං
මේ ලංකාවේ නිරින්ඳුන් ඉදිරියේ
ගසමුව රබන් දොං දොං
යන රබන් පදයෙන් අනාවරණ වේ.
රත් කර ගත් රබාන වට කොට හිඳගත් රූමතියෝ අපේ රටේ ස්වාභාවික සෞන්‍දර්යයට දෙස් කියන කුරුල්ලන් මල් වර්ග, පලතුරු අමතක නොවන මේ ආදී රබන් පද ගසති.
රෑන ගිරවු නටතෙයි ගුඳං ගුඳ
පේර දොඩම් වැටෙතෙයි - විටිං විට
පේර දොංම් වැටෙටතයි
උඩින් උඩින් වර පෙත්තප්පු
බිමින් බිමින් වර පෙත්තප්පු
උඩින් උඩින් වර
බිමින් බිමින් වර පෙත්තප්පු
උඩින් උඩින් වර
බිමින් බිමින් වර පෙත්තප්පු
කජ්ජු කන්න වර
කජ්ජු කන්න වර පෙත්තප්පු
රාන් කිරිල්ලිය රාන් කිරිල්ලිය
රාන් කුරුල්ලට එන්න කියාපිය
රන් පුටුවක් උඩ ඉන්න කියාපිය
නූලක් මතුරල දේන කියාපිය
රන් රඹුටන් ගස් දෙකයි
ගිනි කුකුළන් පස් දෙනයි
උන්ගෙ කරේ බොත්තමයි
බලන්න හොඳ ලස්සණයි
අත්තක රතු මල් අත්තක සුදු මල්
වලූ මල් බෙලි මල්
නැන්දගෙ වත්තේ රෑණ කිතුල් මල්
තකදොං තරිකිට තකදොං තරිකිට
තකදොංතා තකදොංතා
තාක්ක දොං දොං තාක්ක දොං දොං
තේක්ක මල් පිපිලා
ඔන්න බලන් සකි මෙන්න බලන් සකි
පාරට අතුනැමිලා
ඉද්ද මලයි මල් වඩමයි දොංත තකිට තා
නෙලූම් මලයි මල් වඩමයි දොංත තකිට තා
දොං ත තකිට දොංත තකිට දොංත තකිට තා
ඉර බසිනා කල ගසකට කුකුළන්
පියාසරින් නගිතෙයි
දෙපතුල් කටුවන් කරමල් රතුවන්
රිංද ගුඳන් තකතෙයි
එළිවෙන යාමෙට ඌ ඉඳ එතනින්
හීන් හඬින් හඬතෙයි
කුකුළගෙ සවුදම ඔන්න ගසනවා
කොක කොක් ගහිති ගතෙයි
ජන කවියෙහි රසාංගයක් වූ රබන් පද පරිසරයට ගැළපෙන සේ බස වහර නො ඉක්මවා ලිහින් වචන යොදා සකස් කර ගත් බව අමුතුවෙන් කිවයුත්තක් නොවේ. හාස්‍ය රසයත් ප‍්‍රාස රසයත් නො අඩුව දෙන රබන් පද කිහිපයක් මෙන්න.
වත්තෙ නැන්දගේ රෙද්දෙ තුත්තිරි
සිද්ද පත්තිනි දෙයියනේ
තිත්ත තිබ්බටු තෙලෙන් බැද්දත්
තිත්තමයි හැම දෙයියනේ
තෙලෙන් බැද්දත් කොබෙයියා
කිරෙන් බැද්දත් කොබෙයියා
තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත්
දෙකෙන් බැද්දත් කොබෙයියා
ආශ්චර්යාද්භූත කලා රසයකින් මිනිස් හදවත කිති කවන මතු දැක්වෙන රබන් පදයෙන් නො දැනුවත්ව ම චරිත නිරූපණයත් චිත්ත රූපයත් මැවී පෙනේ. උපහාස රසයද පිරී ඉතිරී ඇත.
රුහුණු දනව්වෙහි කරොංචි නයිදෙට
ගෑනු හරක් බඳිතෙයි - තෙතෙයි තෙයි
ගෑනු හරක් බඳිතෙයි
මදු කොළ අහුරක් මිටට කඩාගෙන
ඉදොඃ ඉදොඃ කියතෙයි - තෙතෙයි තෙයි
ඉදොඃ ඉදොඃ කියතෙයි
බාන් පොටක් ගෙන කර දමාගෙන
කදුරු ගහේ බඳිතෙයි - තෙතෙයි තෙයි
කදුරු ගහේ බඳිතෙයි
මෙච්චර මේ රටේ පිරිමි සිටිද්දිත්
ගෑනු හරක් බඳිතෙයි - තෙතෙයි තෙයි
ගෑනු හරක් බඳිතෙයි
විහිළු තහළුවට පමණක් නොව සිරිඟර රසයට නෑකම් කියන රබන් පද ද අතරින් පතර තිබෙන බවට
රන් කුඹලයි රන් කුඹලියි රටක පලච්චී
ගෙදර හිටිය වකුටු කෙල්ල දීග පලච්චී
දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත
වන්ඩු දෙකක් උඩු පිට්ටු දෙකක් ඇත
තන තන්න තන තන්න තන තන්න කීවා
ළැම පැත්ත උස් වෙන්න කිරි මැට්ටා ගෑවා
යනාදිය ඉදිරිපත් කළ හැක.
පී‍්‍රතිය උත්කෂ_වත් ම මුතුන් මිත්තන් සිහි වූ බවට සිල් ගත් පින් දම් කළ ඔවුන් සග සැප විඳින බවත් සිතාමතා රබන් ගැසූ අයුර මෙයින් පෙනේ.
බච්චො ආත්තත් ගොඬේ ආත්තත්
කොත්තන් මුත්තත් - බබියානත්
යකදුරු මුත්තත් පේදුරු මුත්තත්
ඉලූක් කනත්තත් - කිරි එතනත්
යද්දෙහි මුත්තත් ගෝසක මුත්තත්
සලමන් මුත්තත් - කළු මුත්තත්
මේ හැම මුත්තල අපේ ආත්තල
කොහේ ගියත් දැන් - සුර පුරයේ
රබාන ගසමින් රබාන ඇඟිල්ලේ තබා හෝ කෝටුවක තබා අල්ලේ කරකවමින් හෝ විරිදු කිය කියා ගොඬේ ගමේ ඇවිදින දුප්පතා එය කරන්නේ කී‍්‍රඩාව සඳහා ම නො ව බඩ වියත රැක ගැන්මේ උපායක් වසයෙනි. මේ පුළන්නා රබන් කෙළියෙන් දිවි පෙවෙත රැක ගනිමින් කලා රසාසවාදයෙන් ජනයා පිනවයි. ඒ බව අමතක නො කර ඔහුගෙන් වන ජාතික සේවයට කෘතඥවීම අපේ යුතුකමය.
(මෙහි සමහර වචනයන් නූතන අක්ෂර ක‍්‍රමයන්ට අනුකූල නොවනවා විය හැකිය. මා උත්සාහ කළේ මා සතු පුස්තකයේ ඇති පැරණි වාක්‍ය රටා නූතන පරපුරට ඒ අයුරින්ම දැන ගැනීමට සැලස්වීමයි. එයින් යම් වරදක් වන්නේ නම් සමාවන්න.)
රබන් කෙළිය
Reviewed by Admin
on
6:33 AM
Rating:
No comments: